මහ ඡන්දෙකට ලෑස්ති වෙන්න ජනපති කියයි
ලබන
අප්‍රේල් මාසයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්වෙන බැවින් දින 100
වැඩපිළිවෙළ සාර්ථක කිරීමට තමා සමඟ එකතුව වැඩ කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල
සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ට ආරාධනයක් කොට
තිබේ. ජනාධිපතිවරයා මේ ආරාධනය කර තිබෙන්නේ ඊයේ (19දා) ජනාධිපති ලේකම්
කාර්යාලයේ පැවැති සන්ධානයේ සාමාජික පක්ෂවල නායකයන් හමුවේදීය. මැතිවරණ සීමා
නිර්ණය කිරීමත්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් කඩිමුඩියේ සිදු කළ
නොහැකි බැවින් දැනට ක්‍රියාත්මක ඡන්ද ක්‍රමය යටතේ මෙවර මහා මැතිවරණය
පැවැත්වෙන බවද ජනාධිපතිවරයා මේ හමුවේදී සන්ධාන පක්ෂවල නායකයන්ට දැනුම් දී
තිබේ. සන්ධානයේ සියලු පක්ෂ නායකයන් හා ඔවුන්ගේ නියෝජිතයන් සමඟ
ඉදිරියේදී වෙන
වෙනම සාකච්ඡා කරන බව මෙහිදී දැනුම් දී ඇති ජනාධිපතිවරයා එම මුල් සාකච්ඡාව
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතා සමඟ අද (20දා)
පැවැත්වීමට කැමැත්ත පළකොට තිබේ. සාකච්ඡාව ආරම්භයේදීම පක්ෂ නායකයන් සියලු
දෙනාම ජනාධිපතිවරයාට සුබ පතා ඇත.
ලංකා සමසමාජ
පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව්
ගුණසේකර, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්
දේවානන්දා, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්,
වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික කොංග්‍රසයේ නායක
ඒ.එල්.එම්. අතාවුල්ලා, කඳුරට පෙරමුණු නායක රාධක්‍රිෂ්ණන්, ලංකා කම්කරු
කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන් මහත්වරුන් මේ සාකච්ඡාවට සහභාගි වී ඇත.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ සාකච්ඡාවට සහභාගි වී
නැත. ඔහු සහභාගි වී නැත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මෑණියන්ගේ අවසන්
කටයුතුවලට සහභාගි වීම සඳහා බදුල්ලට ගොස් සිටි බැවිනි. මේ හමුවට සන්ධානයේ
සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහභාගි වී
නැත.

0 comments:
Post a Comment